1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 174 4 5

Nisadas Image

ආයෙමත් වැන්ගෝ

මට වචන දහයක්
නුඹ නැතුව කතාකරන්න බෑ
පුදුමාකාර වැන්ගෝ
මට නුඹව තේරුම්ගන්න බෑ...

සංවේදී සිත්තරෙකුට
කන කපා ගන්න බෑ
මේ තරම් හැකියාවක්
බොල් හුළගට විසි කරන්න බෑ...

මානසික පීඩනය
පුදුමයි තවම වටහා ගන්න බෑ
ජීවිතේ රහස් හීන
නුඹ හැංගුවා අපි දන්නෙ නෑ...

නොහිතූ මොහොතකදි
සියදිවි නසාගන්න බෑ
මිනිස්සුන්ට ඔය තරම්
දරදඩු තීරණ ගන්න බෑ...

පිස්සෙක් කියලා
නුඹට නොකියා ඉන්නබෑ
ඒ පිස්සු ගතියට
ප්‍රේම නොකර ඉන්නත් බෑ...

නුඹ ඇන්ද චිත්‍ර
අමතක කරන්න බෑ
නුඹේ දක්ෂකම්
අදටත් මිලකරන්න බෑ...

මේ කලා මාවතේ
වැන්ගෝ නුඹ මැරුනේ නෑ
නුඹේ මතකය මවන්නට
මිනිස්සු අමතක කරේනෑ...

පුදුමාකාර නුඹෙ සිතුවම්
හදවතට දරාගන්න බෑ
වැන්ගෝ මට නුඹ වගේ
පුදුම මිනිසෙක් වෙන්න තවම බෑ...

මම,
චතූ

(පසුවදන: කවුද මේ වින්සන්ට් වැන්ගෝ?
19 වැනි සියවසේ යුරෝපයේ වාණිජමය කෲර විෂම සමාජය තුළ පැවැති කුහක අකටයුතු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ මොහු වෙනත්ශිල්පීන් මෙන් ම චිත්‍රමය භාෂාව තුළින් ඒ පිළිබඳ විග්‍රහයක යෙදීමට උත්සාහ දැරූවෙකි. දැඩි මානසික පීඩනයකින් පෙලුණු මොහු වරෙක සියතින් ම තම කණ කපා ගත්තේ ය. ඔහුගේ අවසන් සිතුවමේ වූ තිරිගු යාය මතම ඔහු සියදිවි නසා ගනී)

චතුරංගි හර්ශිකා 3 years ago 176 6 5

Nisadas Image

කලකිරීම

නෙතග සිනහව තබන්නට මට
හෙටට සිහිනය මවන්නට මට
අවැසි නෑ ලොව නේක සිතුවිලි
හිතම පාරයි අනන්තය ළග...

හදම මියැදී ලොවේ අසරණ
කලකිරුණු හිත දරා හිනැහෙන
මටත් බෑ හෙට ගගන අයිනේ
සදක් වී නැවතී හිදින්නට...

දිනෙක දැල්වී නිවී යන තුරු
ලොවට ආලෝකය ලබා දෙන
පුංචි පහනක් වෙන්න ආසයි
තවත් දහසක් පහන් දල්වන...

මටද හිමි නැති 'මම' තුළම හිද
හීන දකිමින් කුමට දැවෙනුව
මටත් අවැසියි උදේ සුපපී
හවස පරවන මලක් වන්නට...

සියක් ආයුෂ මදිව තැවෙනා
සසර ලොල් වූ මිනිස්සුන් හට
මගේ පණ ටික ලබා දී මට
නෙත් පියාගත හැකියි නම් අද...

එකා පසුපස එකා පන්නන
විෂම ලෝකේ ලෝබ හිත්වල
කොහොම ඇල්මක් ඇතිවුණාදෝ
මේ තරම් මේ අදුරු සසරට...

වේදනා දුක් කම්කටොලු වල
අවසාන මොහොතක් දකින්නට
හැකියි නම් මට ජීවිතේ හැර
සදහටම නෙත් පියා ගන්නට...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 133 4 6

Nisadas Image

ලාංකික මිනිසාට උරුම සංස්කෘතිය දායාද කළ අහිංසක හිත අපූරු දායාදයකි.


කන්නගිය කෝවලන් හට
අප්‍රමාණව කළා වූ
පවිත්‍ර ප්‍රේමයෙන්
පඩි පුරක් ගිනි තැබුවා ය

දේවත්වයට පත් ඈ
අද පවා දනන්ගේ
භක්ත්‍යාදරයට පත්
දෙවගනක් වූවා ය

පතිනි මෑණියන්ගේ
ඒ උතුම් බලයෙන්
විශ්ව ආශිර්වාද පූජාවකින්
නූතන මිනිසා රටට සෙත් පැතූහ

අහිංසක හීනවල
හදවත් පුරවාගත් බලාපොරොත්තු
ආදරණීය ලාංකිකයන්ගේ
හෘදයංගම හදවත මවන කැඩපතක් විය

එදා රතන සුතුරෙන්
විශාලා මහනුවර තුන්බිය නැසූ
ධර්මයේ මහා බලයෙන්
රටට සෙතක් වේවා යි අපි අදත් පැතුවෙමු

හදවත් පිරුණු වේදනා මකන්නට
නූතන කිසා නැගෙනිය
නොමල ගේකින් අබ හොයන්නට
නුඹ තනිව යා යුතු නැත

සංස්කෘතිය දෝතින් රැගෙන
අදිසි හස්තයන්හි පිහිට පවා සොයා
හැබෑවටම අපි යමු
මේ අහිංසක හීන ලස්සනයි තවම

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 156 4 4

Nisadas Image

ඊළගට

මම කතා කරනවා ආයෙමත් මගෙ හිතත් එක්ක. මම හිතට කිව්වා. හරි දැන් ඔක්කොම හරි. ඔයාගෙ හීනෙට තව පුංචි දුරයි තියෙන්නේ... ඒත්...හිත කියනවා, නෑ...මේක නෙවෙයි ලෝකෙ. ඔයා පාඩම් කරා. ඉගෙන ගත්තා. දැන් ඔයාගෙ අනාගතේ ස්ථිරයි. ඒත් ඔයා තේරුම් ගත්තද... ජීවිතේ කියන්නේ මේ තරගෙ අස්සෙ දුවගෙන දුවගෙන යන එකටද?

මම කියනවා: ඒත් මම මේක නොකරත්, බලහත්කාරයෙන් මගෙ දෙමව්පියෝ මේ පාරෙ මාව යවනවා.

ඔව්. ඒක ඇත්ත.ජීවිතේ ගොඩක් දේවල් ඔයාට අහිමි වෙලා. ඔයා ඔය කවි පුරාවට ලස්සන ගංගාවල්, ලස්සන ඉරක්, ලස්සන මල් ගැන ලිව්වට, ඔයාට තිබුණද ඒ ඉරක් මලක් ගගක් දිහා බලන්නවත් වෙලාවක්? හිත මගෙන් අහනවා.

ඔව්. මම පිළිගන්නවා. මම දිනලා නෑ. මම මා තුළම පරාජිත බවක් මට දැනෙනවා. මම හොයනවා. මට වැරදුන තැන. මම හොයනවා. ළදරු හීන මගෙන් මගෑරුණු තැන.

මම ජීවත් වෙනවා. ඒත් මම දැන් තෘප්තිමත් මනුස්සයෙක් ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ. මගෙ අනාගතේ ස්ථාවරයි. මට ජීවිතේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඒත් මම මේ ජීවිතේ ගැන මේ දිනුම හොයාගෙන යන තරගෙ ගැන කලකිරිලා. මට මේ කිසිම දෙයක් ගැන ලෝභකමක් ආසාවක් ඇල්මක් නෑ.

ඊළගට...

චතුරංගි හර්ශිකා 3 years ago 152 4 4

Nisadas Image

ඊළගට...

ඊළගට මම සතුටු විය යුතු වේලාව! ඒත්...මගෙ හිත...මම දන්නෙ නෑ ඒකට මොනවද වෙලා තියෙන්නේ කියලා... පොත්, සටහන්, පෑන්, පැන්සල්, අකුරු, පාට, ප්‍රශ්න පත්‍ර මේ සියල්ලෙන් එපිට ලෝකයක් තිබිලා.

ඒ ලෝකෙ ළමයි උදේට දහයට එකොළහට ඇහැරිලා... නිවාඩු කාලෙට පුරන් කුඹුරු යායවල්වල සරුංගල් අරගෙන දුවලා, වෙල පහළ දෙණිය ළග පුංචි ඇළේ එකා පිට එකා වැටිලා නාලා... හෙම්බිරිස්සාව හැදිලා හොටු දත් දෙකක් වගේ නහයෙන් එනකොට පවා කැලේ පුරාවට මා දං හොයන්න දුවලා... කෙසෙල් කොළ හෙවිල්ලපු සෙල්ලම් ගෙවල්වල ලස්සන පොඩි මුට්ටි වල සෙල්ලම් බත් උයලා...දෙවියනේ...

මේ කොහේ තිබුණ ලෝකෙද...

මම අගහරු වලින් පාත් වුණ එකෙක්ද? මේ ගෙවුණු කාලෙ ඇතුළෙ මගෙ ළමා කාලෙම දියවෙලා. මට පුළුවන් සෙල්ලම් බත් උයන්න. කොස් කොළ ඔටුනු දාගෙන රජ වෙන්න. ඒත් දැන් මම ඒකට ලොකු වැඩියි. ඇත්තටම හිසට ඔටුනු හොයන්න ගිය ගමනේ පුංචි උන් දැකපු හිනාව මට අහිමි වෙලා. ඒ හිනාව ඇතුලෙ උන්ගෙ බැදීම් මගෙන් ඈත් වෙලා. මම මේ ලෝකෙට ආගන්තුකයෙක් වෙලා...
මට සතුටක් නෑ. ඔක්කොම සාර්ථක විදිහට අවසන් වෙලා.

ඒත් මම... හුදෙකලා වෙලා...මම ලස්සන හීන දැකපු ලෝකෙන් එපිට තිබුණු දේදුනු පාට සුරංගනා කතා මට මගහැරිලා...

චතුරංගි හර්ශිකා 3 years ago 142 5 4

Nisadas Image

ඔව්, ඊළගට...

මම මගෙ උපරිමය කරා. මම සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වුණා කියලා ප්‍රතිඵල සටහන දැක්කට පස්සේ ගොඩක් සතුටු වුණා. හැමෝම. ඒ වගේම මමත් සතුටු වුණා. ඒ මගේ මහන්සිය. මගෙ හීනෙට මම තිබ්බ අඩිය. ඒ මගෙ හිතත් එක්ක මම කියපු කතාවල ප්‍රතිඵලය!
ඔව්...ඊට පස්සේ මට හීන දෙන්න මට බල කරන්න...මට වද කරන්න කවුරුත් ඕනි වුනේ නෑ. මම පැන්සලෙන් අදින හීන මමම පාට වලින් ලස්සනට පාට කරන්න පුරුදු වුණා. ඊළගට ආව උසස් පෙළ විභාගය මම ආසාවෙන් බලාපොරොත්තු වුණ ආදරණීය හීනයක්. මම මගෙ උපරිමය කරා. විෂයන් තුනට A තුනක් නැතුව මම මගේ මූණ දිහා බලන්නෙ කොහොමද. මම මගෙ යටි හිතට පොරොන්දු වුණ ලස්සන හීනවලට පාට හොයන්නෙ කොහොමද...මම මගේ හෘදය සාක්ෂියට බොරු කරන්නෙ කොහොමද...නෑ...මම මගෙ හීන වලට උපරිම පාට හෙව්වා. කැපවීම කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගත්තා. මම මං වෙනුවෙන් මහන්සි වුණා.

හරි. අන්තිමට උසස් පෙළ විභාගයෙන් ළමයෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් උපරිමය මම කරා. නිරායාසයෙන්ම කලා විශය ධාරාවෙන් යන්න පුළුවන් ඕනිම විශ්ව විද්‍යාලයක් මං වෙනුවෙන් විවෘත වුණා. ඒක මම දැකපු ලස්සනම හීනයක්... එදාත් හැමෝම සතුටු වුණා...

ඊළගට...

චතුරංගි හර්ශිකා 3 years ago 170 4 4

Nisadas Image

ජීවිතේ ගැන

ඔව්...

ඊළගට සාමාන්‍ය පෙළ විභාගය.
මේ වෙනකොට මමයි මගෙ යටි හිතයි හොඳ යාළුවො.

අපි එකිනෙකාට කතා කරනවා. මම හීන දකින්න පුරුදු වුණා. මම දැකපු, අහපු, කියවපු ගොඩක් දේවල් ඇතුලෙ මම මගෙ අනාගතේ ගැන තීරණය කළා. මම හිතුවා. ඔව් මම සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනි. මම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට ගිහින් රජයේ රැකියාවක් කරන්න ඕනි. මම ලස්සන පුංචි ගෙයක් හදන්න ඕනි.

ඒ ගෙදර මටම කියලා සත්තු ඉන්න ඕනි. මට ලස්සන බූල් බල්ලෙක් ඉන්න ඕනි. මට පූසො දහයක් පහලොවක් ඉන්න ඕනි. මම සතුටින් හැමදාම ජීවත් වෙනවා. මම විශ්‍රාම ගියත් මගෙ පෙන්ෂන් එක මාසයක් ගානෙ මගෙ එකවුන්ට් එකට වැටෙනවා. මම නිදහසේ ජීවත් වෙනවා.

මම ලංකාවේ මම ආසා හැම තැනම යනවා. මම පුංචි ලස්සන සුදුපාට කාර් එකක් ගන්නවා. වැහි දවසක ලස්සන පාරක් දිගේ, හීනියට ඇහෙන සින්දුවකුත් එක්ක මගෙ කාර් එකේ මම ආසම තැනකට යනවා...

ඔයවගේ නානාප්‍රකාර හීන මගෙ හිත ඇතුලේ පැන්සලෙන් ඇන්ද මම ඒ හීන වලට පාට පුරවන්න හිතට හයිය ගත්තා. මම සාමාන්‍ය පෙළ ලියන්නෙ, කාගෙවත් ඕනිකමකට නෙවෙයි. මගෙ හීන වලට පාට පුරවන්න. උදේ රෑ දවල් නැතුව මගෙ සාමාන්‍ය පෙළ හීනෙට මම මගෙ උපරිමයෙන් මහන්සි වුණා.

ඊළගට...

චතුරංගි හර්ශිකා 3 years ago 183 4 4

Nisadas Image

ජීවිතේ


ජීවිතේ මොකුත්ම නොදන්න පුංචි ම අවදියේ, ජීවිතේ ගැන ගොඩක් හීන තිබුණා. පළවෙනි හීනෙ පහේ ශිෂ්‍යත්වය. ගෙදරින් දුන්නු පීඩනය, පාසලෙන් දුන්නු පීඩනය, යාළුවො, අහල පහල උදවිය, නෑදෑයො, දෙවියනේ...මේ හැමෝම එකතුවෙලා දුන්න පීඩනේ හැටියට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න නෙවෙයි. මං අංගොඩ ඉන්නයි ඕනි.

පේපර් එකකට ලකුණු අඩු වුණාම, ගේ ඉස්සරහ අඩි පාරේ දණ ගහගෙන හිටපු වාර අනන්තයි. හමුදා නීතිය අකුරටම ගෙදරටත් ක්‍රියාත්මක කරපු අපූරු තාත්තෙක්ගෙ දුවක් වෙච්ච මට පිස්සු නොහැදි ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.

මම ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. හරි සතුටුයි හැමෝටම. මටත් සතුටු හිතුණා. මේ පොර පිටියෙන් නිදහස් වීම ගැන! කොහොමින් කොහොම හරි ලොකු ඉස්කෝලෙකට යන්න අම්මලගෙ හීනෙට ඔන්න මම එදා පාට ගෑවා. ඒ හැරෙන්න මට මගහැරුණු ළමා විය, මට මගහැරුණු කෝම්පිට්ටු, සෙල්ලම් ගෙවල්, යාළුවො...මම ඒවා ගැන හිතුවේ නෑ. ඇත්තටම මට එහෙම හිතන්න තරම් තේරුමක් තිබුනේ නෑ. කාලෙ ගතවුනා. පොත් පත් අතරෙ, දැඩි විනය නීති අතරෙ තාත්තගෙ හීනවලට පාට ගානවා මිසක් මට මගෙම හීන තිබුණෙම නෑ. ඔහොම ටික ටික දවස් ගෙවුණා...

ඊළග කොටස ඊළගට







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps