1,796 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 4 years ago 163 3 6

Nisadas Image

මේ නිසදැස් අඩවිය

නැවතුණු තැනින් ඉතිං
ආයෙමත් අරඹන්න
වැටෙන හැම මොහොතකම
මට යළිත් නැගිටින්න...

හැකි බවක් මම ඉතින්
උගත්තේ හරි පුදුම
නේක නිසදැස් ලියූ
මෙහෙ උන්ගෙ කවි වලින්...

මම මෙහෙට ආවාම
මගෙ හිත නිවා ගන්න
ලොවට නොකියන කදුළු
මේ පිටුවෙ හැරයන්න...

බොහෝ උන් මම දුටුවා
වේදනා විඳගන්න
ඇවිත් ගිය බවක් මෙහි
කදුළු හලලා යන්න...

සතුට දුක හැමදේම
කවි කරපු අකුරු ළග
ඇතැම් තැනකදි කදුළු
මහ ගොඩක් තිබුණාට...

හැමතැනම මුතු අකුරු
අමුණාපු කවි අතර
හැම දේම රසවිඳින
හිතක් තිබුණා උන්ට...

හඩපු කදුළුත් හිදෙන්නට පෙර
හිනා වෙන්නට හේතු ලිවු අය
ප්‍රේමයේ රළු වේදනා මැද
වේදනාවත් කවි කරපු අය...

අහස පොළවට ලෝකයට නෙක
සොබාදහමට ප්‍රේම කළ අය
ජීවිතේ සතුටත් දුකත් මේ
සොඳුරු පිටු මත අකුරු කළ අය...

හිනාවෙන අය හඩා යන අය
ලියූ නිසදැස් රසවිඳින අය
නේක විධ වූ කවිකාර අය
මේ පිටුව තුළ මම දුටුව අය...

වේදනාවත් කදුල සුසුමත්
පොදු දෙයක් බව ලෝකයේ තව
මේ ඉසව්වෙන් මම උගත්තා
ජීවිතේ හැම තැනම කවි රස...

- චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 168 4 6

Nisadas Image

නුඹේ අංකය

නුඹව අමතක කරන්නට මට
තවම හයියක් නැති නිසා
දුරකථනයෙන් මැකූ අංකය
අද යළිත් ඇතුලත් කළා...

නුඹේ ගිණුමේ ඇති පුරුදු ඒ
නුඹේ රූපය දෙස බලා
මොහොතකට මගෙ හිත විමසුවා
නුඹට කොහොමද දැන් කියා...

මකා දමලා ඔබේ අංකය
නොහැක හැර යන්නට සදා
ඔබේ අංකය මගේ මතකය
ඇතුලෙමයි ලියවුණෙ එදා...

කොයිතරම් අමතක කළත් යළි
මම මටම යළි පවසනා
මගේ යටි සිත ඔබේ අංකය
තවම අමතක නොකෙරුවා...

නැවත ආයෙත් නුඹේ අංකය
මගේ දුරකථනෙන් මකා
ඉවත තැබුවත් නුඹ වගේ මට
නුඹේ අංකෙත් හුරුවෙලා...

යමෙකු ඉදහිට මගේ අංකය
ඇසුව පසුවත් හඩ නගා
මගේ හිත මට උඹේ අංකය
කියනවා මේ අද පවා...

අපේ මතකය කැටයමකි මම
මගේ හිත්ගල මත තැනූ
එය දකින හැම මොහොතකම මගෙ
හිත හොරෙන් රිදවයි නෙතූ...

හිතේ මම නුඹ කැටයමක් ලෙස
මැව්වාට පෙරගිය දිනේ
නුඹ මගේ මතකය පොදක් වත්
තියාගත්තේ නැහැ වගේ...

මේ තරම් කාලයක් ගතවී
නුඹට අමතක මේ හිතේ
පෙර රැයෙත් කදුලක් නැගුණෙ ඇයි
මට පවා තව නොතේරේ...

නුඹෙ හිතේ තව මගෙ නමට නෑ
ප්‍රේමයක් නම් මේ භවේ
මගෙ මතක තුළ නුඹ මැවෙන්නේ
අද වුණත් නුඹ මගෙ වගේ...

- චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 190 4 4

Nisadas Image

මොර ගහ

ගිරවුන්ට මොර බෙදන
වැව අයිනෙ මොර ගහට
පෙර රැයේ ආ සුළග
කස පහර දුන්නාද...

මං පුංචි සන්ධියේ
හැම හවසකම වගේ
ඒ ගහේ අතු ගානෙ
දැවටුණි සුළග වගේ...

දෙණියෙ පොඩි උන් එක්ක
මොර වාරයේ හවස
කුස පිරෙන තුරුම මොර
හිත පුරා වැළදුවේ...

අවාරෙට පවා ඒ
මහ විසල් මොර ගසේ
අඩු නැතිව කහ පාට
මොර නොඅඩුව ම තිබේ...

රාත්‍රියෙ ගොම්මනට
පවා ඉදහිට තැනක
කහපාට මොර මලක්
නිරන්තර හිනැහුනේ...

වවුලන් පවා රෑට
මොර ගහේ අතු ගානෙ
රෑ වේල මොරවලින්
පිරිමහන්නට ගියේ...

අතු කඩා කිසි දිනෙක
මොර නොකන ගම්මුන්ට
හැමදාම මොර දුන්න
හිතවත් මවක් වගේ...

මේ මොර ගහේ හෙවනෙ
අපේ අත්තා පවා
කුඩා සන්දියේ දී
රැදී ඉදලා තිබේ...

හැමදාම හැමෝටම
මොර දුන්නු මොර ගහට
මහ වැස්ස දුන් පහර
තදින් බලපා තිබේ...

තද හුළග මොර ගහේ
මුලින් උදුරා දමා
සදාදරණීය ගස
මරා දමලා තිබේ...

සොබාදම මැවූ දේ
සොබාදම ගෙන ගිහින්
වැව අයිනෙ ආයෙමත්
මොර ගහක් නෑ ගමේ...

ගහේ හෙවනේ රැදුණු
මොර වලින් කුස නිවුණු
හැමෝගෙම හිත් වලට
ඒ අඩුව දැන් දැනේ...

- චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 271 2 2

Nisadas Image

හත්පෙති මල මගේ

මං තනිව මගෙ හීන
ගොඩ ගැහුව හිත ගාව
හත්පෙති මලත් එක්ක
ෂේන්යා මගෙ ගාව...

රෑට හීනෙන් පවා
පාට පෙති මම දුටුව
ඒ මලේ පෙති හතම
තිබුණ තව ඈ ගාව...

මගේ කෙළිලොල් හිතේ
හීනයක් වී උපන්
පෙරදා රැයේ ඇවිත්
මගෙ හීනවල ඉදන්...

එ් පුදුම මිත්තණිය
දුන්නු හත්පෙති මලත්
ෂේන්යා ඇත්තටම
මට අරගෙනත් ඇවිත්...

ආන්යා වෙනුවෙන්
පෙත්තක් කඩා ගන්න
ඒක කළ යුතු නිසා
මම ඉඩ දුන්නා ඔන්න...

ඒත් ආයෙත් ඉතින්
තවත් දේ ඉල්ලන්න
එන්න නම් එපා මේ
මල මගේ මට දෙන්න...

සෙල්ලම් බඩු අරං
පෙති නිකං අපරාදෙ
මල් වාස් කඩ කඩා
හදන්නට බැහැ ආයෙ...

පෙර කරපු සිගිති වැඩ
කරන්නට මේ වාරෙ
ඉඩක් නෑ ෂේන්යා
හත් පෙති මල මගේ...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps