1,796 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 4 years ago 140 2 2

Nisadas Image

නුඹ සහ මම

උඹට මතකද ඒ දවස්වල
නිරන්තර අපි හමුවුණා...

හැම උදේකම හැම හවසකම
මුවග මදහස දිලිසුනා...

ඒ නිමේෂය අසුරු සැනෙකින්
මගෙ ලොවෙන් පිටමං වුණා...

තවම දන්නෑ අපේ ප්‍රේමය
හැර ගියේ නුඹ ඇයි කියා...

එකම පොළොවක ඉවුරු දෙකකදි
ආදරෙන් අපි හිනැහුණා...

නුඹේ පපුවේ උණුසුමට මම
සෙනෙහසින් තව ළං වුණා...

අපිම ඉදි කළ අපේ ලෝකේ
අපි අපිව සොයමින් ගියා...

මාව හැරදා දුරක් යන්නට
හැකි වුණා පුදුමයි මෙදා...

නිතර මගෙ හිත අහනවා දැන්
උඹට කොහොමද යැයි කියා...

මම දන්නෙ නෑ කොහේ ඇත්දැයි
කුමක් කරමින්දැයි කියා...

මිණිපුරේ එක බිම් ඉසව්වක
මතු දිනෙක මම නැවතිලා...

නුඹට රහසින් සොයනවා යළි
නුඹට කොහොමද යැයි කියා...

නුඹ පරාජිත ජීවිතේ තුළ
සතුට නොවිදින බව සැබැයි...

නමුත් ජයගන්නට ඕනි නැති
උඹේ උන් හරි කම්මැලියි...

එක තැනම දින ගෙවී දවසක
අපි හැමෝමත් මහළු වෙයි...

දන්නවද ඒ දින පවා නුඹ
ඉන්නෙ ඔය මතයේ තමයි...

කාසි සොයමින් තැවෙන්නට මට
අවැසි නෑ ජීවය කෙටියි...

නමුත් මම මගෙ හීන පසුපස
ගොස් දිනමි මගෙ ලොව එයයි...

නුඹ නැති ලොවේ මගේ හිත ළග
යළිත් ප්‍රේමය නූපදියි...

දිනෙක හමුවනු ඇති යළිත් අපි
එදින ඔබ මට තව දුරයි...

- චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 144 4 7

Nisadas Image

නාදුනන ඇමතුම

මගේ දිනපොත මේ අසාපන්
අදත් මගෙ හිත ඔහුව සෙව්වා
නුඹට කීමට තරම් නොවුණත්
කියන්නට වෙන කෙනෙක් නැතුවා...

නාදුනන අංකෙකින් මට අද
නොහදුනන ඇමතුමක් ආවා
ඒ ඇමතුමේ මැදින් මගෙ හිත
අපේ මතකය මතක් කෙරුවා...

නාදුනන අංකයේ ඇමතුමට
පිළිතුරක් මම දුන් වෙලේ
අනිත් පැත්තෙන් කියූ කිසිවක්
මෙමට නම් නැහැ වැටහුණේ...

මගේ හිත ඇමතුමත් අතරෙම
අතීතය ළග නැවතුණේ
නුඹ වගේමයි නුහුරු බසකින්
ඒ කතාබහ ඇති වුණේ...

නුඹ ඇදට සිංහල කියනකොට
ලස්සනයි මං ආදරෙයි
මං ආසා ඒ කැඩුණු සිංහල
මතක පිරි නුඹ මගෙ නොවෙයි...

නුඹේ ළග නැවතිලා මගෙ හිත
යළිත් මෙලොවට ආ වගයි
කවුද කියලා අහන්නට මට
සිහි වුණේ ඉන් පසු තමයි...

නමුත් ඇමතුම ගත් කෙනා නම්
අපේ බස නොදනී වගෙයි
මා කියූ දෙය නොතේරී ඔහු
නැවත නැවතත් කෑ ගසයි...

ඔහු කියන දේ බිංදුවක්වත්
ඉතින් මට නම් නොතේරෙයි
හරියටම ඉස්සර දවස්වල
නුඹ කතාකළ බස වගෙයි...

ගිනිගත්ත තල් අරඹ මැද්දෙන්
කිරිල්ලක් ඉගිලුණු වගයි
මගේ ප්‍රේමය ඒ වගේ මුදු
කවක් නොවුණේ ඔබ නිසයි...

බොහෝ දුර ඔබෙ මතක මැද්දෙන්
ඉගිල ගිය හිත නතර වෙයි
යමක් දෙඩවූ අමුත්තා දැන්
මටත් නොදැනිම ගොස් හැඩයි...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps