1,796 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 127 2 2

Nisadas Image

( වෙනත් තැනක මම ම ලියන්නට සිතූ කවියක්, එතැන නොලියා මෙහි පල කළෙමි)

හිතවත් කවියා වෙත,

පුරාවත් පුරාවට
සුන්දරම කතන්දර
නිරන්තර වචන තුළ
හරි රහට කවි කරන්...

මිහිරි සුන්දර කවිය
නුඹ මැවූ අපූරුව
කියවන්න හිත වුණත්
මග බලනවා ඉතින්...

මම ලියන කවි අතර
පිළිතුරු වචන නිතර
ලිව්වෙ නෑ කිසිදාක
කවුරුවත් නුඹ තරම්...

හැම පබැඳුමක් ගානෙ
නුඹෙ පිළිතුරක් තිබුනා
දන්නෙ නෑ නුඹෙ කවිය
ළං වුණා මට හොරෙන්...

මට හයිය නැහැ තවත්
කවි පොතේ පිටුවලට
ආදරෙන් ළං වෙන්න
දැන් ඉතින් පෙර තරම්...

හෝඩි පොත් පිටු අතර
බොළද රූ කුරුටු ගී
වගේ වෙන්නැති ඉතින්
මම ලියන කවි වදන්...

නුඹ එහෙම නෙවෙයි ඔය
පුරුදු හරබර වචන
මේ සොඳුරු ඉසව්වේ
ලිව්වාද මොන තරම්...

මම ඉතින් නොලියාම
කවි පොතම හැර ගියත්
කියවන්න මනාපයි
මිහිරි පබැඳුම් ඉතින්...

පිළිතුරු නොලියා වුණත්
නුඹ ලියන වචන වැල්
කියවලා යන්න මම
එනවා තවමත් හොරෙන්...

නුඹෙන් මෙය නොඅසන්න
සිතා සිටියත් තදින්
පිටුව මත මගේ හිත
ලියා තැබුවා ඉතින්...

ඉදහිටත් ඇවිත් යමි
මම නොලිව්වත් ඉතින්
සොඳුරු සටහන් තැබූ
නුඹ කොහේදෝ ගිහින්...

මට නොවැටහෙයි තවත්
නුඹ නේන්නේ මන්ද?
දන්නවද පාළුවක්
මුළු පොතම බදු අරන්...

මම
-චතූ

Deesha(දීෂා)❤️ 3 years ago 180 4 6

Nisadas Image

?, ⁣⁣මගේ ඩොක්ට ආන්ටි වෙතට,

කඳුළු නෙත් ඉම සැරිසරන විට
ලඟින් හිඳගෙන දුක අහන්
සිනිඳු සුදුමුදු දෙඅත් එක්කොට
වැටෙන පිණිකැට පිසදමන්
නුඹේ ළමැදේ හොවන් මා හිස
සිනාවක් දුන් අනුහසින්
මවකි නුඹ මට දිවිය නැවතත්
පිදූ මා වෙත සෙනෙහසින්...

වැටෙන හැමවිට දෙඅත් අල්ලා
නැඟිටින්න දුන් ධෛරයෙන්
නොදුටු බෝසත් ඇසින් දුටුවෙමි
මහා සත්ගුණ ශක්තියෙන්
වේදනාවෙන් දැවෙන සිරුරම
දෑතින්ම නුඹ පිසලමින්
දෛවයේ කස පහර විඳිමින්
නුඹම එතුනා මා වටින්...

කිසිමදා බර අහක නොදමා
ලැබූ තිළිණය ලෙස සිතින්
පළඳන්න අවසර දෙන්න මට
ආදරේ කිරුළම හිසින්
රුහිර කිරි වන දවස අත ළඟ
නැඟිටින්න නුඹ වෙර දරන්
රැකේවා නුඹ ගැබත් සමඟින්
නෙත් දහක් ඇත මඟ බලන්....
? ඉක්මන් සුව පතමි! ?

චතුරංගි හර්ශිකා 3 years ago 119 3 4

Nisadas Image

විලාසිනියක්

හැමදාම ගොම්මනේ
පහන් කණුවක් අසල
ජීවිතේ හොයනවා
රෑ කරුවලේ නිතර...

එකින් එක එහේ මෙහෙ
යනෙන වාහන අතර
එක්කෙනෙක් ඈ රැගෙන
යයි නිවන් සොයන්නට...

දෙතොල් රතු සායමින්
පාට කෙරුවේ තදට
දෙනෙත් අංජන ඉලූ
මීන දෑසේ අගට...

පුරුද්දට වගේ ඇයි
ආවෙ කදුලක් මෙලෙස
දන්නවා ගිරි දුවේ
නුඹ දරන දුක් කන්ද...

සැමියා නැති ගේ පැලේ
දරුවො බඩගින්නෙන්ද
ඇගේ මස් විකුණලා
කන්න දුන්නද උන්ට...

නිරන්තර ජීවිතේ
ගැහැට විදිනා උන්ට
පඩුපුල් ආසනේ
රත් වුණේ නැතුවාද...

ලෝකෙන්ම කුණු කතා
කෝටියක් කියනකොට
ජීවිතේ හොයාගෙන
කදුළු හංගන උඹට...

යන්තමින් හරි ඉතින්
සැනසීම ගෙන එන්ට
ලෝකේ දිහා බලන
සක් දෙවිඳු නුඹ නිදිද...

- චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 124 3 3

Nisadas Image

නේන ගමනක් ගියා(අදහස මගේ නොව. වෙනත් නිර්මාණයක් ඇසුරින් කළ කවියකි)

හැමදාම හැන්දෑවෙ
වැඩ ඇරිලා එන දිහා
පුංචි උන් අපි ඉතින්
මග බැලුවෙ එයි කියා...

කඩල ගොට්ටක් මගේ
දෑත මත්තේ තියා
බෙදාගෙන කාපල්ලා
කියූ ආදර පියා...

ගියොත් ගමනක් ඉතිං
හැමදාම එයි එයා
මේ පාර මාස තුනකට
වැඩියි නෑ පියා...

වෙනදාට ලොක්කියේ
කියා අමතන එයා
දුරකථන ඇමතුමක්
දුන්නෙ වත් නෑ මෙදා...

මෙහෙට එන්නකො මගේ
සුදු පුතේ ඇවිදිල්ලා
තාත්තට විට එකක්
ගෙනත් දීපන් කියා...

ලොක්කියේ ඇද යටින්
මගෙ සපත්තුව හොයා
ඩිංගක් පොලිෂ් කරලා
තියාපං කී එයා...

පොඩි පුතේ තාත්තගෙ
පෝන් එක රින් වෙනවා
ඉක්මනට ඔන්න ඕක
ගෙනත් දීපන් කියා...

හැමදාම ජීවිතේ
කොටසක් ම වූ පියා
ලියුමක් පවා ඔයා
නොඑවාම හැංගිලා...

එදා මූසල හුළග
වැහි කදුළු ගෙනැල්ලා
මග දෙපස පේලියට
සුදු පාට කොඩි දමා...

පෙට්ටියක දමාගෙන
ගෙනගියා කර තබා
හැමදාම ආව නුඹ
නේන ගමනක් ගියා...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps