චතුරංගි හර්ශිකා 3 years ago 128 2 2

Nisadas Image

( වෙනත් තැනක මම ම ලියන්නට සිතූ කවියක්, එතැන නොලියා මෙහි පල කළෙමි)

හිතවත් කවියා වෙත,

පුරාවත් පුරාවට
සුන්දරම කතන්දර
නිරන්තර වචන තුළ
හරි රහට කවි කරන්...

මිහිරි සුන්දර කවිය
නුඹ මැවූ අපූරුව
කියවන්න හිත වුණත්
මග බලනවා ඉතින්...

මම ලියන කවි අතර
පිළිතුරු වචන නිතර
ලිව්වෙ නෑ කිසිදාක
කවුරුවත් නුඹ තරම්...

හැම පබැඳුමක් ගානෙ
නුඹෙ පිළිතුරක් තිබුනා
දන්නෙ නෑ නුඹෙ කවිය
ළං වුණා මට හොරෙන්...

මට හයිය නැහැ තවත්
කවි පොතේ පිටුවලට
ආදරෙන් ළං වෙන්න
දැන් ඉතින් පෙර තරම්...

හෝඩි පොත් පිටු අතර
බොළද රූ කුරුටු ගී
වගේ වෙන්නැති ඉතින්
මම ලියන කවි වදන්...

නුඹ එහෙම නෙවෙයි ඔය
පුරුදු හරබර වචන
මේ සොඳුරු ඉසව්වේ
ලිව්වාද මොන තරම්...

මම ඉතින් නොලියාම
කවි පොතම හැර ගියත්
කියවන්න මනාපයි
මිහිරි පබැඳුම් ඉතින්...

පිළිතුරු නොලියා වුණත්
නුඹ ලියන වචන වැල්
කියවලා යන්න මම
එනවා තවමත් හොරෙන්...

නුඹෙන් මෙය නොඅසන්න
සිතා සිටියත් තදින්
පිටුව මත මගේ හිත
ලියා තැබුවා ඉතින්...

ඉදහිටත් ඇවිත් යමි
මම නොලිව්වත් ඉතින්
සොඳුරු සටහන් තැබූ
නුඹ කොහේදෝ ගිහින්...

මට නොවැටහෙයි තවත්
නුඹ නේන්නේ මන්ද?
දන්නවද පාළුවක්
මුළු පොතම බදු අරන්...

මම
-චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ඒ්යි හොර ගෙඩියා ???? ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you deesha??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps