චතුරංගි හර්ශිකා 4 years ago 134 2 2

Nisadas Image

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 02 වෙනිදා බදාදා
ප.ව.9.00

පැලක් උඩ ජීවත් වෙන්න බැරි වුණාට
හේන් ගොවියෙක්ගෙ ජීවිතේ ගෙවෙන්නෙම
ගහක් උඩ හදපු පැලක් උඩ...

අප්පච්චි
උඹත් එහෙමයි...

දන්නවද අප්පච්චි
උඹට මහන්සියි කියලා
ඇලවෙලා ඉදපු
එකම දවසක් වත් මම දැකලා නෑ...

ගිනියමට ගිනිගන්න
කරවෙච්ච පොළොවෙ
ඉසුරු හෙව්ව උඹේ හිතේ
නපුරුකමක් තිබුණෙම නෑ...

වල් ඌරෙක් ඉරිගු යායම කෑවත්
උඹ ඌරට බැන්නෙත් නෑ
අපිව බඩගින්නෙ තිබ්බෙත් නෑ
ඒ හයිය අත්වල කරගැට
අපිව මේ ජීවිතේට හරි තදට බැදලා තිබ්බා...

හිත රිදුන වෙලාවල් තිබුණා
ඒත් ඒ කිසිම මොහොතක
උඹ
අපිට දුකක් දැනෙන්න දුන්නෙ නෑ...

උඹේ ඔය හයිය හිතට
මද්දහනෙ අහස පවා හරි ආදරෙයිලු
ඒ හින්දම
නොවරදවා හරි කාලෙට වැහි ගේන්න අහසත් වගබලා ගත්තා...

මොන නැති බැරිකම තිබුණත්
අනුන්ට අත නොපාන
අමුතු ආඩම්බරකමක් උඹට
තිබුණා...

ඒ යකඩ හයිය අත් වලට
කදුළු දැනෙන්නැති ආඩම්බර හිතට
නොපෙනෙන කොණක උඹ හංගපු සෙනෙහසට
මං හරි ලෝබයි අප්පච්චි...

මම දන්නවා
උඹේ පණ ගැහෙනකං
උඹේ පුංචි උන් වෙච්චි අපි
ආරක්ෂිතයි...

උඹ නැතිදාකත්
කෙලින් හිටගන්න
මේ පිච්චෙන ගිනියම මැද්දෙ
උඹ අපිට හුරු කළා අප්පච්චි...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago අප්පච්චි............ හරිම ලස්සනයි

චතුරංගි හර්ශිකා 4 years ago Thanq ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps