චතුරංගි හර්ශිකා 4 years ago 147 2 2

Nisadas Image

අපේ කතාව

අහිමි නුඹට ලියමි,

එදවස නුඹ නමින් පදවැල් ගළපන්නට ඉසිඹුවක් නොලද්දෙමි. කාලයේ චණ්ඩ මාරුතය ජීවිත හරහා හමාගිය වේගය මෙතෙකැයි කිව නොහැක. ගොලු වී බලා උන්නෙමි. එකිනෙකට බැඳී නොනැවතී සිදුවුණු සිද්ධිදාමය වේගයෙන් සිදුවූ අරුමය, එය නම් අරුමයක් ම ය. සංකීර්ණ ව්‍යාකරණ අතර අපේ කතාව ගොතන්නට මට ඉඩක් නොලැබුණු හැටි නම් පුදුම ය.
පුංචි හැඟුමක් පවා කවි කළ හිත ගොළු වූ අයුරු පුදුම ය. මෙය මෙසේ අවසන් වන්නට නියමිතව තිබූ හෙයින් ඒවා එසේ සිදුවන්නට ඇත. සැබෑවටම ඒ හමුවීම් ගෙන ආවේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවකි. සතුටින් සිනාසුන නමුදු යටින් වූයේ ප්‍රිය විප්‍රයෝගය ලකුණු ය. වෙන්වීමත් අත ළඟ ඇති බවක් නිරන්තරයෙන් ම සිතුනි. ඔබෙන් වෙන්වී යන්නට නියමිත ව තිබූ නිසා මට එසේ හැඟෙන්නට ඇතැයි සිතමි. නමුදු මා මළගිය ඇත්තෝ තුළ දුටු දෙවෙන්දොරා නුඹ විය. මා විරාගයේ දුටු අරවින්ද නුඹ විය.

සියල්ල අවසන සිත තැන්පත් ව ඇති මේ ඉසිඹුවෙහි මම ලියන්නෙමි. මටම සීමා වූ ඔබට අවැසි නැති, ඔබට නොතේරෙන, ඔබ අකමැති, පිටු ගණන් කතාන්දරය මම ලියන්නෙමි.

Comments (2)

Deesha(දීෂා)❤️ 4 years ago ????

චතුරංගි හර්ශිකා 4 years ago ??✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps