චතුරංගි හර්ශිකා 4 years ago 236 3 4

Nisadas Image

රෑ අහසේ තරු සාදය

ගන කලුවරට නෙත් අඳ වෙන රෑ යාමේ
කඩුපුල් මලට පිණි බිඳු දෙන ගිම්හානේ
හරි සීතලට හිත ළග නැවතුණ හීනේ
මගෙ කවි මනස රෑ ගගනත රැදුනානේ...

සදවත අහස මැද්දේ කරලියට වැදී
මේ රෑ රංගනය කෙරුමට දෝ සැරසී
ආසිරි පතන ගගනත නිල් වලා රැලී
සදවත වටා තාලයකට පියාඹතී...

තරු කැල නේක විසිතුරු සිතුවම් මවතී
සදවත ඊට ආලෝකය බෙදයි නිතී
රැගුමට යුගල නැටුමක් රෑ මලක් රිසී
වවුලෙක් පෙම්වතිය සමගින් එයි සැරසී...

කනාමැදිරියෝ රෑනක් පේලි සැදී
ගගනත වේදිකාවට දැන් කඩා වැදී
සමූහ නර්තනයක හැඩ ගෙනා නිසී
තරු වැල් පවා පුදුමෙන් මෙන් බලා වුණී...

මදනළ වලාකුළු සමගින් එකට බැඳී
කළු පටසළුව ගගනත මැද්දේ එලතී
සිනමා හලේ කළුවර මැද එළිය දිදී
සදවත පහන ඒ මැද්දේ සිනාසුණී...

ජය ගෝසා දෙන්නට උඩ බලා නිතී
ලන්දේ වෙලේ ගෙඹි රෑනක් රැදී වුනී
තරු රංගනය කරනා මොහොතකදි එබී
පලගැටියෝ ගීත නාදය ලබා දුනී...

සංගීතයට ආලෝකය මැදට වෙලා
කලු ගගනතේ දිලිසෙන කහ සළු පටලා
තරු රංගනය ඇරඹිනි ගගනත සරසා
ගෙඹි රැල දුන්න ඔල්වරසන් ඇසෙයි මෙදා...

රෑ අහසේ තරු සාදය ජයට
වුණී
හැමටම කන්න කිරි පැණි නොඅඩුව තිබුණී
බොන්නට පිණි වතුර ගෙනදුනි
වලා රැලී
මේ නම් මගුල් සක්වලකැයි
මට සිතුණී...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 4 years ago ? ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thanqq?

ශශී❤️? 4 years ago නියමයි ?

චතුරංගි හර්ශිකා 4 years ago Thanqq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps