Ranatunge Jayawardene 2 months ago 63 0 0

Nisadas Image

වගකීම්

එළි මහනේ,
ගිනි අව්වේ හිඳගෙන
අන්ඩ දමා ඇති
කලිසම් කඩ හැඳි
කම්කරුවෙකි, මම
ඔබ සිතනා ඒ
නිවාඩු ගන්නැති.
*
මුතු කැට යැයි ඔබ
කවියෙන් පවසන
සියොළඟ ගලනා;
අව්වේ දිලිසෙන
ලුණු රස ඩා බිංදු
උල්පත් අඩු නැති.
*
"හිසටත් ඉහලින්
කුළු ගෙඩි ඔසවන
ව්‍යායා'යාමයක්"
නොවෙදෝ ඒනම්
ඔබ සිතනා විට
කළු ගල් වලට ද
ඉවසනු බැරුවැති.
*
මගෙ දරුවන් ගැන
සිහි කරමින් මම
මහ මඟ හිටගෙන
දහවල බත්පත
බුදිනා බව දුටු
ඔබට සිතුති නම්
"විවේක සුවයෙන්"
හිඳිනා බව මම
හිසට එල්ල වූ
කුළු පහරක් එය.
*
රාත්‍රියට මට
ජීවත් වන්නට
ඇඟේ රුදාවට
බෙහෙතක් නැති මුත්
රහමෙර, ඹෞෂද
නොවෙදැයි සැලකුව
මා, දුටුකල ඔබ
"කාලකන්නි" ලෙද
පිළිකුල් කොට ඇති.
*
හෙට ඉර පායා
මහමග එන විට
වැඩි සුව පහසුව
ඔබට දැනෙනු ඇති
රෑ මැද වන තෙක්
අප වෙහෙසුන බව
ඒ සිතුවිලි තුල
හමුවනු නැතුවැති.
*
"අයිතිවාසිකම්
දිනා" නැවත ඔබ
ආපිට එන විට
ඉල්ලීමක් නැති
හිමි වීමක් නැති
කුළු ගෙඩි අත ඇති
උදලු දරා ඇති
කලු ගල් සිත් ඇති
වැදගම්මක් නැති
අප හමුවනු ඇති.. !
-----------------------------------------
රනේ/02ජුලි2024/වගකීම්

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps